ලංකාවේ වෙසක්

වෙසක් කූඩු හැදුවා
පාට පාට බල්බ් දැම්මා
බකටුත් එල්ලුවා
දන්සැලකුත් වැන්දා
වෙලාව තිබ්බොත්
පන්සල පැත්තෙත් ගිහින් එන්න ඕනේ..

 

දන්දීම සහ දන්සල් දීම.

විනාඩි දෙකක කතාවක්.

 

වෙසක් පෝයත් ළඟ එන නිසා දැන් ටික ටික දන්සල් කට්ටිය ගෙවල් ගානෙ යන කාලෙනෙ. මේකත් ඒකට සම්බන්ධ, පහුගිය දවසක වෙච්ච සිද්ධියක්.

දැන් අවුරුදු දෙකක් විතර තිස්සෙ අපේ ගෙවල් ළඟ කොල්ලො ටිකක් එකතු වෙලා දෙන දන්සලක් තියෙනව. බීම දන්සලක්. ඒක තියෙන්නෙත් අතුරු පාරක නිසා වැඩිය සෙනඟ සෙට් වෙන්නෙත් නෑ. ඒත් වැඩේ කෙරෙනව.

දවසක් අපිට ගේ ඇතුළට ඇහෙනව පාරෙ මොකක් හරි ලොකු සද්දෙට යන කතාවක්.

පොඩි ගෝරියක් වගෙ.

තාත්තයි මායි ත් එළියට බහිනව සිද්ධිය මොකද්ද කියල බලන්න.

ගෙවල් පැත්තෙම ඉන්න අන්කල් කෙනෙක්, අර කොල්ලො ටිකත් එක්ක පොඩි වචන හුවමාරුවක්.

 

“මට තව පනස් හයදාහයි එකතු කරගන්න තියෙන්නෙ. ඒකයි මම අහන්නෙ. මට ඔය එකතු වෙච්ච සල්ලි වලින් පොඩි උදව්වක් කරන්න”

“දැන් අන්කල්ට තුන් හතර පාරක්ම කිව්වනෙ බෑ කියල. සිංහල තේරෙන්නෙ නැද්ද? යන්නකො වදයක් නොවී!”

“මහ ගොඩක් ඉල්ලනව නෙමෙයිනෙ. පුළුවන් නං දෙතුන් දාහක් දුන්නත් ලොකු දෙයක්”

 

කට්ටිය දකිනව තාත්තව.

 

“බලන්නකෝ අන්කල් මෙයා කියන කතාව. පොඩි එකාගෙ අසනීපෙකට බේත් වලට ලක්ෂයක් විතර යනවලු. තව පනස් හයක් එකතු කරගන්න තියෙනවලු. අපෙන් කීයක් හරි දෙන්නලු”

“දැන් කීයක් විතර එකතු වෙලා තියෙනවද?”

“දහ තුනක්. ඒත් එහෙම එක එක්කෙනාට  දෙන්න බෑනෙ අන්කල්”

“හ්ම්ම්.. පුතා මගෙ පර්ස් එක ගේන්න”

 

මම ගෙට ගිහින් තාත්තගෙ පර්ස් එක අරගෙන එනව.

පර්ස් එක අරින තාත්ත මාරු සල්ලි ඔක්කොම එහෙ මෙහෙ කරල, තියෙන එකම දාහෙ කොළේ ගන්නව.

ඒක අර අන්කල්ගෙ අතට දෙනව.

 

“පුළුවන් කමකට කරනව නෙමෙයි. අපිට ආරංචි වුනා පුතාට වෙච්ච කරදරේ ගැන. පුතාට ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව”

 

අන්කල්ගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනව. තාත්ත එයාගෙ පිටට පොඩි තට්ටුවක් දාල, අර කොල්ලො ටික දිහාට හැරෙනව.

 

“තමුසෙල එකෙක්වත් ආයේ එන්නෙ එහෙම නෑ අපේ ගෙවල් පැත්තෙ, අරකටයි මේකටයි කියල සල්ලි ඉල්ලගෙන!”

 

උන් ටික උඩ බිම බලනව.

 

“ඔය දන්සලට වඩා වටිනව නේද මේ මනුස්සයට පුළුවන් උදව්වක් කළා නං? වැඩක් නෑ කතා කරල..”

 

අපි ගෙට යනව.

 

තව සතියකින් විතර බලාගන්න පුළුවන් වෙයි දන්සල කොහොමද කියල. එකතු වෙච්ච සල්ලි වලින් බාගෙකින් දන්සල කරල, ඉතුරු ටිකේ සොමිය දාන එවුන් තමයි මුන්.

හැම එකාම ඔහොම නෙමෙයි. එකතු වෙච්ච සල්ලි ඔක්කොම දෙන තරං එවුනුත් ඕනේ තරං මේ රටේ ඉන්නව. එහෙම උන් අතරෙ මේ වගෙ යක්කුත් ඉන්නව.

 

“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

“පුතේ, පොඩ්ඩක් එන්නකෝ මේ ශටර් එක ලඟට”
“ඇයි තාත්ති?”
“අර බලන්න අර මිනිස්සු මේ කෝච්චිය දිහා බලං ඉන්න හැටි!”
“ඒගොල්ලො ටටාත් කියනව!”
“ඒක ඒගොල්ලන්ට පුරුදුයි. කෝච්චියක් යනකොට ටටා කියනව”
“තාත්ති, එතකොට අර අර දෙන්න මොකද්ද කරන්නෙ?”
“ආ ඒ තාත්තියි පුතයි උදේම උදලුත් අරගෙන මොකක් හරි වගාවක් කරන්න යනව. දැක්කද?”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලොත් තාත්තියි අම්මියි වගේ කොළඹ ඔෆිස් එකක වැඩ කරන්නෙ නැත්තෙ?”
“ඒ අය එච්චර ඉගෙන ගත්ත අය නෙමෙයිනෙ පුතේ. ඉතිං ඒගොල්ලන්ට අම්මියි තාත්තියි වගේ ඔෆිස් වල වැඩ කරන්න බෑ”
“එතකොට ඒගොල්ලන්ට සල්ලි?”
“ඔය වගා කරන ඒවයෙන් හම්බුවෙන සල්ලි ටිකක් තමයි”
“ඒ කියන්නෙ ඒගොල්ලො දුප්පත් අයද?”
“ඔව් නෙ”
“එතකොට ඒගොල්ලන්ට ටීවී, කම්පියුටර්, ඉන්ටර්නෙට්?”
“ඒවා නෑ පුතේ මෙහෙ ගොඩක් අයට”
“පවු නේද තාත්ති ඒ මිනිස්සු?”

 

***

 

“පුතේ, ඉක්මනට වරෙන් ඔය උදැල්ලත් අරගෙන”
“ඇයි තාත්තෙ?”
“අර බලපං අර කෝච්චියේ ඉන්න මිනිස්සු අපි දිහා බලාගෙන යන හැටි!”
“ඒගොල්ලො අතුත් වනනව!”
“ඒගොල්ලො එහෙම තමයි. කෝච්චියෙ යන ගමන්, මඟ ඉන්න අයට අත වනනව. උඹත් අත වනපං”
“ඒ කොළඹ මිනිස්සුද තාත්තෙ?”
“ඔව්. ඔය රෑ කෝච්චියෙ එන ගොඩක් අය කොළඹින් එන අය තමයි”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලො කොළඹ ඉඳන් උඩරට එන්නෙ කෝච්චියෙ?”
“ඒ අය ලොකු සල්ලිකාරයොනෙ පුතේ. ඔය නිවාඩුවට එන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට කොයින්ද එච්චර සල්ලි?”
“ලොකු ලොකු රස්සා කළාම සල්ලි හම්බ කරන්න පුළුවන්”
“ඒ කියන්නෙ ගොඩක් සල්ලි තියෙන අය පෝසත් අයද?”
“එහෙම තමයි හිතාගෙන ඉන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට ගස්කොළන්, දිය ඇළි, අලුත් එළවලු?”
“ඒවා නෑ පුතේ එහෙ අයට”
“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”