“සේනානායක, බට්ලර් සහ මන්කඩ්”

buttler_2929913b

පහුගිය දවස් කීපයේ සෑහෙන්න අහන්න ලැබුණු නම් තුනක්. නම් තුන එකතු වෙච්ච තැන මහා ආන්දෝලනාත්මක සිද්ධියක්. ඔබ මේ වන විටත් මේ සිද්ධියේ අල ගිය මුල ගිය තැන්, ඔක්කොම දන්නවා ඇති. ඒත් කාලෙකින් මුකුත් ලියන්නත් බැරි වෙච්ච නිසා මට ලියන්න හිතුනා මේ ගැන. ඒ සිද්ධිය විතරක් ලියල නිකං ඉන්න නෙමෙයි මගෙ කල්පනාව. “මන්කඩ්-කරණයේ” ආරම්භය, එයට ඇති පිළිගැනීම, ක්‍රිකට් නීති වලට බලපාන අන්දම සහ මේ සිද්ධියට සම්බන්ධ විචාරක අදහස් ටිකකුත් මේ ලිපියට එකතු කරගන්නයි අදහස.

 

මොකක්ද මේ සිද්ධිය?

ශ්‍රී ලංකා, එංගලන්ත සංචාරය. පස්වන සහ අවසාන එක්දින තරඟය.

සචිත්‍ර සේනානායක හතලිස් එක්වන පන්දු වාරයේ පන්දු යවමින් සිටිනවා. එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්, පන්දු යවන්නාගේ අන්තයේ සිටින අතර, ඔහු සීමාවෙන් ඉදිරියට ගොස් සිටින බව දකින සචිත්‍ර, ඔහුට අනතුරු අඟවනවා. මෙවැනිම අනතුරු ඇඟවීමක් එම අවස්ථාවේ ක්‍රීඩා කරමින් සිටින ක්‍රිස් ජෝර්ඩන් හටද සචිත්‍ර විසින් සිදු කරනවා.

හතලිස් තුන්වන පන්දු වාරය. පන්දු යවමින් සිටින සචිත්‍ර, ජොස් බට්ලර් නැවතත් සීමාවෙන් එපිටට ගොස් ඇති බව දැක, කඩුල්ල බිඳ දමනවා.

නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් එම දැවී යාම අවශ්‍යදැයි විමසන විනිසුරුවරයා, මැතිව්ස්ගේ එකඟවීම සමඟ ඒ දැවී යාම ලබා දෙනවා.

run-out0_2930017b

 

“මන්කඩ්-කරණය”

මේ ආකාරයේ දවා ගැනීම් හඳුන්වන්නේ “මන්කඩ්-කරණය” (“Mankadding”) යන නමින් වන අතර එය ආරම්භ වෙන්නේ විනූ මන්කඩ් නම් ඉන්දියන් ක්‍රීඩකයාගෙන්.

Mankadx4

1947/48 වසරක ඉන්දියා ඕස්ට්‍රේලියානු සංචාරයක පැවැත්වුණු දෙවන ටෙස්ට් තරඟයේදී තමයි මෙවැනි පළමු කඩුලු දවා ගැනීම සිදුවෙන්නේ. එහිදී බිල් බ්‍රවුන් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පන්දු යවන්නාගේ අන්තයේ කඩුලු සීමාවෙන් එපිටට ගොස් තිබූ නිසා, විනූ මන්කඩ් විසින් ඔහුගේ කඩුල්ල දවාගනු ලබනවා. මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ එයින් කුපිත වූ ඕස්ට්‍රේලියානු මාධ්‍ය මඟින් තමයි මේ “මන්කඩ්-කරණය” කියන නම ලබා දෙන්නේ.

නමුත් පසුකාලීනව ඩොන් බ්‍රැඩ්මන් නම් අසහාය ක්‍රීඩකයා තමාගේ චරිතාපදානයේ මේ ගැන පවසන්නේ මෙසේයි:
“ඔවුන් ඔහුගේ ක්‍රීඩාශීලීත්වය ගැන ප්‍රශ්න කළේ ඇයි කියා මට සිතාගන්න බෑ. ක්‍රිකට් නීති මාලාවේ පැහැදිලිවම සඳහන් වෙනවා, පන්දු යවන්නා පන්දුව යවන තෙක්, පන්දුවට පහර නොදෙන පිතිකරු තමාගේ සීමාව තුල සිටිය යුතු බව. එසේ නොමැති නම් එවැනි දවා ගැනීමක් කළ හැකි ආකාරයේ නීතියක් නිර්මාණය කර ඇත්තේ කුමකටද? ඒ අයුරින් සීමාව ඉක්මවා ඉදිරියට යාමෙන්, පිතිකරු පැහැදිලිවම අසාධාරණ වාසියක් ලබා ගන්නවා.”

10pixe2

සචිත්‍ර සේනානායකට පෙර අවසාන වතාවට ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ මන්කඩ්-කරණය වාර්තා වෙන්නේ 1992 වර්ෂයෙන්. ඉන්දියානු ක්‍රීඩක කපිල් දේව් විසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක පීටර් කර්ස්ටන්ගේ කඩුල්ල බිඳ දැමීම එම අවස්ථාවයි.

 

 

ලොකු අය කියූ කතා

ශ්‍රීමත් ඉයන් බොතම්:
“මෙහි මූලික වරද තියෙන්නෙ ජොස් බට්ලර් අතේ. ඔහු කළ මූලික වරද තමයි සීමා ඉර ඉක්මවා ඉදිරියට යාම. යම් පිතිකරුවෙකුට දිගින් දිගට ම අවවාද කළහොත් ඔහු සිය සීමා ඉරේ සිටීමට දැනගත යුතු යි. ඒ නිසා මේ ගැන වාද කරල වැඩක් නැහැ. මේ ගැන බට්ලර් තමන්ට ම යි බැණගත යුත්තේ”

ටොම් මූඩි:‍
“සචිත්‍ර සේනානායක ජොස් බට්ලර්ට පැහැදිලිව ම අවවාද කළා. ඒත් බට්ලර් එය නොතැකීම නිසා සචිත්‍රට කරන්න වෙනත් දෙයක් ඉතිරිව තිබුණේ නැහැ”

ඇඩම් ගිල්ක්‍රිස්ට්:
“පන්දු යවන්නෙකු අඟල් කාලක් පාදය සීමා ඉර ඉක්මවා තැබුවහොත් නිපන්දුවක් ලෙස සටහන් කර ඔහුට දඬුවම් දෙනවා නම් පිතිකරුවෙකුට දඬුවම් නොකරන්නේ ඇයි?”

ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්:
“මම ‘නූතන ක්‍රීඩාව’ට ගැළපෙනව ද කියල මම දන්නෙ නැහැ. ඒත් මම මේ ප්‍රශ්නෙදි නායකයෙකු ලෙස කටයුතු කළානම් මා ගන්නා තීරණය උඩුගම්බලා පිහිනීමක් වේවි.”

මයිකල් වෝන්:
“මම සම්පූර්ණ වරද පටවන්නේ නායකයාට. ඔහුට තිබුණා තීරණය වෙනස් කර පිතිකරුට අවස්ථාවක් දීමට. ක්‍රීඩා කළ යුත්තේ මෙසේ නෙමෙයි”

හර්ෂ බෝග්ලේ:
“ජොස් බට්ලර් මේ නරක වැඩේ කලින් තරගෙදි ත් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය කියන්නෙ බාගෙට ලකුණු දුවන්න තියෙන අයිතියක් නෙවෙයි”

අර්ජුණ රණතුංග:‍‍
“නායකයෙක් හැටියට ඇන්ජලෝ මැතිව්ස්ට කරන්න තිබුණේ ක්‍රීඩකයා නැවත කැඳවා විකට්ටුවේ රැඳවීම යි. තවත් අවස්ථාවක් ලබා දෙමින් එම වරද යළිත් කළොත් කිසිම සමාවක් නැති බව ක්‍රීඩකයාට දැනුම් දී ඔහු විකට්ටුවේ රැඳවීමයි කළ යුතුව තිබුණේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ගෞරවනීය ආකාරය ලොවට ප්‍රදර්ශනය කිරීමට තිබුණ අවස්ථාවක් මග හැරුණ බවයි මගේ හැඟීම”

 

මේ තරඟය අවසන් වූ පසු එංගලන්ත නායක ඇලස්ටෙයා කුක් සඳහන් කර සිටියේ, ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය මඟ හැර ක්‍රියා කළ බවයි. ඒ පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බවත්, තමාට මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් තමා මැතිව්ස් මෙන් ක්‍රියා නොකරන බවත් ඔහු පවසා සිටියා.

ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින් කියා සිටියේ, ක්‍රීඩාවේ ජීව ගුණයේ නාමයෙන් ජෝස් බට්ලර්ට අනතුරු ඇඟවීම් දෙකක්ම කළ බවත්, තව දුරටත් ඔහු එම වරදම සිදුකරන විට කඩුල්ල දවාගැනීම හැර වෙන විකල්පයක් නොමැති බවත්ය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කතා කළ මහේල ජයවර්ධනද කියා සිටියේ, මීට කලින් තරඟයේදීද ජෝස් බට්ලර්ට මෙවැනිම අනතුරු ඇඟවීම් කළ බවයි.
“ඔවුන් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් ක්‍රීඩා කරන්නේ නැතිනම්, නීතියට ක්‍රීඩා කිරීමට අපට සිදුවෙනවා”, ඔහු කියා සිටියා.

 

මෙතන තියෙන ලොකුම ගැටලුව මේ කඩුල්ල දවාගැනීමවත්, මන්කඩ්-කරණයවත් නෙමෙයි. මෙතන තියෙන ගැටලුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ මාධ්‍ය විසින්, ඒ කණ්ඩායමේ අසාර්ථකත්වය වැසීමට මෙය මාර්ගයක් කර ගැනීමයි. දැනට සිටින එංගලන්ත කන්ඩායම සමබර කණ්ඩායමක් නොවන බව කවුරුත් දන්නා කරුණක්. ඇලස්ටෙයා කුක් යටතේ, තවමත් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට හැකි වී නැහැ.

මන්කඩ්-කරණය ගැන පමණක් කතා කරමින් ලංකාවේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලීත්වය ගැන ප්‍රශ්න කරන ඔවුන්, සචිත්‍ර සේනානායක විසින් අවස්ථා දෙකකදී කරන ලද අනතුරු හැඟවීම් සහ ජෝස් බට්ලර් විසින් නැවත නැවතත් සීමා ඉර ඉක්මවා යාම ගැන සඳහන් කරන්නේ නැත්තේ ඒකයි.

නමුත් මෙහිදී සඳහන් කළ යුතුම කරුණක් වන්නේ, ශ්‍රී ලාංකික නොවන බොහෝ පිරිස්ද ශ්‍රී ලංකාවට පක්ෂව කතා කිරීමයි. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල අඩවි වලද, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි වලද මෙය දක්නට ලැබෙනවා. “UK Mirror” නම් ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවිය විසින් මේ පිළිබඳව කරන ලද ඡන්ද විමසීමකින්ද මෙය හොඳින්ම පැහැදිලි වෙනවා. “ජෝස් බට්ලර්ගේ දැවීයාම ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිව යන්නක්ද?” යන ප්‍රශ්නයට “ඔව්” පිළිතුර ලබා දී ඇත්තේ 5% ක් පමණයි. 95% ක් ම පවසන්නේ එය සාධාරණ බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ සහ නීති ආදිය සකස් කරන Marylebone Cricket Club (MCC) එකද පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම වරදක් මෙහිදී නොමැති බවයි. නැවත නැවතත් අනතුරු ඇඟවීම් නොතකමින් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් අත වැරැද්ද ඇති බව පවසන ඔවුන්, ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කර නොමැති බවත් කියා සිටිනවා.

 

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මන්කඩ්-කරණය අපට සුලබව දකින්නට ලැබෙන දෙයක් නෙමෙයි. නමුත් එය එසේයි කියා, එය ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වන දෙයක් සේ හංවඩු ගසා, ක්‍රීඩාවේ නීති නොතකා හැරීමට හැකි තත්වයකට පත් කිරීම නොකළ යුත්තක්. නීතිය නම් නීතියමයි. නීතියට අනුව ක්‍රියා කිරීම “සදාචාරාත්මක නොවීම” හොඳ දෙයක් නොවේ.

තමන්ගේ නොහැකියාව / වරද පිළිගෙන, කෙන්ද කන්ද කරගන්නේ නැතිව ලස්සනට බේරගන්න තිබ්බ සිද්ධියක් වවාගෙන කෑම නිසා, විශාරදයන් ඉදිරිපිට නෝන්ඩි වූ එංගලන්ත කණ්ඩායමක් තමයි මට නම් දැන් පේන්න තියෙන්නේ.

 

Advertisements

ලංකාවේ වෙසක්

වෙසක් කූඩු හැදුවා
පාට පාට බල්බ් දැම්මා
බකටුත් එල්ලුවා
දන්සැලකුත් වැන්දා
වෙලාව තිබ්බොත්
පන්සල පැත්තෙත් ගිහින් එන්න ඕනේ..

 

දන්දීම සහ දන්සල් දීම.

විනාඩි දෙකක කතාවක්.

 

වෙසක් පෝයත් ළඟ එන නිසා දැන් ටික ටික දන්සල් කට්ටිය ගෙවල් ගානෙ යන කාලෙනෙ. මේකත් ඒකට සම්බන්ධ, පහුගිය දවසක වෙච්ච සිද්ධියක්.

දැන් අවුරුදු දෙකක් විතර තිස්සෙ අපේ ගෙවල් ළඟ කොල්ලො ටිකක් එකතු වෙලා දෙන දන්සලක් තියෙනව. බීම දන්සලක්. ඒක තියෙන්නෙත් අතුරු පාරක නිසා වැඩිය සෙනඟ සෙට් වෙන්නෙත් නෑ. ඒත් වැඩේ කෙරෙනව.

දවසක් අපිට ගේ ඇතුළට ඇහෙනව පාරෙ මොකක් හරි ලොකු සද්දෙට යන කතාවක්.

පොඩි ගෝරියක් වගෙ.

තාත්තයි මායි ත් එළියට බහිනව සිද්ධිය මොකද්ද කියල බලන්න.

ගෙවල් පැත්තෙම ඉන්න අන්කල් කෙනෙක්, අර කොල්ලො ටිකත් එක්ක පොඩි වචන හුවමාරුවක්.

 

“මට තව පනස් හයදාහයි එකතු කරගන්න තියෙන්නෙ. ඒකයි මම අහන්නෙ. මට ඔය එකතු වෙච්ච සල්ලි වලින් පොඩි උදව්වක් කරන්න”

“දැන් අන්කල්ට තුන් හතර පාරක්ම කිව්වනෙ බෑ කියල. සිංහල තේරෙන්නෙ නැද්ද? යන්නකො වදයක් නොවී!”

“මහ ගොඩක් ඉල්ලනව නෙමෙයිනෙ. පුළුවන් නං දෙතුන් දාහක් දුන්නත් ලොකු දෙයක්”

 

කට්ටිය දකිනව තාත්තව.

 

“බලන්නකෝ අන්කල් මෙයා කියන කතාව. පොඩි එකාගෙ අසනීපෙකට බේත් වලට ලක්ෂයක් විතර යනවලු. තව පනස් හයක් එකතු කරගන්න තියෙනවලු. අපෙන් කීයක් හරි දෙන්නලු”

“දැන් කීයක් විතර එකතු වෙලා තියෙනවද?”

“දහ තුනක්. ඒත් එහෙම එක එක්කෙනාට  දෙන්න බෑනෙ අන්කල්”

“හ්ම්ම්.. පුතා මගෙ පර්ස් එක ගේන්න”

 

මම ගෙට ගිහින් තාත්තගෙ පර්ස් එක අරගෙන එනව.

පර්ස් එක අරින තාත්ත මාරු සල්ලි ඔක්කොම එහෙ මෙහෙ කරල, තියෙන එකම දාහෙ කොළේ ගන්නව.

ඒක අර අන්කල්ගෙ අතට දෙනව.

 

“පුළුවන් කමකට කරනව නෙමෙයි. අපිට ආරංචි වුනා පුතාට වෙච්ච කරදරේ ගැන. පුතාට ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව”

 

අන්කල්ගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනව. තාත්ත එයාගෙ පිටට පොඩි තට්ටුවක් දාල, අර කොල්ලො ටික දිහාට හැරෙනව.

 

“තමුසෙල එකෙක්වත් ආයේ එන්නෙ එහෙම නෑ අපේ ගෙවල් පැත්තෙ, අරකටයි මේකටයි කියල සල්ලි ඉල්ලගෙන!”

 

උන් ටික උඩ බිම බලනව.

 

“ඔය දන්සලට වඩා වටිනව නේද මේ මනුස්සයට පුළුවන් උදව්වක් කළා නං? වැඩක් නෑ කතා කරල..”

 

අපි ගෙට යනව.

 

තව සතියකින් විතර බලාගන්න පුළුවන් වෙයි දන්සල කොහොමද කියල. එකතු වෙච්ච සල්ලි වලින් බාගෙකින් දන්සල කරල, ඉතුරු ටිකේ සොමිය දාන එවුන් තමයි මුන්.

හැම එකාම ඔහොම නෙමෙයි. එකතු වෙච්ච සල්ලි ඔක්කොම දෙන තරං එවුනුත් ඕනේ තරං මේ රටේ ඉන්නව. එහෙම උන් අතරෙ මේ වගෙ යක්කුත් ඉන්නව.

 

“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

“පුතේ, පොඩ්ඩක් එන්නකෝ මේ ශටර් එක ලඟට”
“ඇයි තාත්ති?”
“අර බලන්න අර මිනිස්සු මේ කෝච්චිය දිහා බලං ඉන්න හැටි!”
“ඒගොල්ලො ටටාත් කියනව!”
“ඒක ඒගොල්ලන්ට පුරුදුයි. කෝච්චියක් යනකොට ටටා කියනව”
“තාත්ති, එතකොට අර අර දෙන්න මොකද්ද කරන්නෙ?”
“ආ ඒ තාත්තියි පුතයි උදේම උදලුත් අරගෙන මොකක් හරි වගාවක් කරන්න යනව. දැක්කද?”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලොත් තාත්තියි අම්මියි වගේ කොළඹ ඔෆිස් එකක වැඩ කරන්නෙ නැත්තෙ?”
“ඒ අය එච්චර ඉගෙන ගත්ත අය නෙමෙයිනෙ පුතේ. ඉතිං ඒගොල්ලන්ට අම්මියි තාත්තියි වගේ ඔෆිස් වල වැඩ කරන්න බෑ”
“එතකොට ඒගොල්ලන්ට සල්ලි?”
“ඔය වගා කරන ඒවයෙන් හම්බුවෙන සල්ලි ටිකක් තමයි”
“ඒ කියන්නෙ ඒගොල්ලො දුප්පත් අයද?”
“ඔව් නෙ”
“එතකොට ඒගොල්ලන්ට ටීවී, කම්පියුටර්, ඉන්ටර්නෙට්?”
“ඒවා නෑ පුතේ මෙහෙ ගොඩක් අයට”
“පවු නේද තාත්ති ඒ මිනිස්සු?”

 

***

 

“පුතේ, ඉක්මනට වරෙන් ඔය උදැල්ලත් අරගෙන”
“ඇයි තාත්තෙ?”
“අර බලපං අර කෝච්චියේ ඉන්න මිනිස්සු අපි දිහා බලාගෙන යන හැටි!”
“ඒගොල්ලො අතුත් වනනව!”
“ඒගොල්ලො එහෙම තමයි. කෝච්චියෙ යන ගමන්, මඟ ඉන්න අයට අත වනනව. උඹත් අත වනපං”
“ඒ කොළඹ මිනිස්සුද තාත්තෙ?”
“ඔව්. ඔය රෑ කෝච්චියෙ එන ගොඩක් අය කොළඹින් එන අය තමයි”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලො කොළඹ ඉඳන් උඩරට එන්නෙ කෝච්චියෙ?”
“ඒ අය ලොකු සල්ලිකාරයොනෙ පුතේ. ඔය නිවාඩුවට එන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට කොයින්ද එච්චර සල්ලි?”
“ලොකු ලොකු රස්සා කළාම සල්ලි හම්බ කරන්න පුළුවන්”
“ඒ කියන්නෙ ගොඩක් සල්ලි තියෙන අය පෝසත් අයද?”
“එහෙම තමයි හිතාගෙන ඉන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට ගස්කොළන්, දිය ඇළි, අලුත් එළවලු?”
“ඒවා නෑ පුතේ එහෙ අයට”
“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

 

පළමු පෝස්ටුව!

සිතේ දහසක් දේ
ලියන්නට නැත කල්
අලුයම සියොතුන් සේ
යති සිතුවිලි මා හැර
මතකයද අමතක කරවා
නැවත නොඑන්නට

පළා යන සිතුවිලි
ලුහුබඳින්නට
එන්න මා සමඟ
ඇරයුමයි,

අබිනික්මනේ මම..